අපිට අගයක් නැති ලොව ජයගත් නාසා ආයතනයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා


1939 අවුරුද්දේ ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේදී උපත ලබපු චන්ද්‍රා වික්‍රමසිංහ මහතා දැන් මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිකම දරන කීර්තිමත් විද්‍යාඥයෙක්. ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් වගේම “අභ්‍යාවකාශ ජීව විද්‍යාඥයෙක්” (Astrobiologist) ද වන මෙතුමා වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ “ජීවය බිහි වුණේ පෘථිවියේදී නොව ඈත අභ්‍යාවකාශයේය” කියන මතය ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි. මේ න්‍යාය හඳුන්වන Panspermia කියන වචනයේ අදහස “විසිරි ජීව අංශු න්‍යාය” නැතිනම් “ජීව්‍ය අංශු අභ්‍යාවකාශය පුරා පැතිරිලා තිබීමේ න්‍යාය” වගේ දෙයක්. (Pan + sperm + ia = විසිරුණු + ශුක්‍රාණු + පිළිබඳ)
වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා ඒ කාලයේ තිබුණු ලංකා විශ්ව විද්‍යාලයෙන් (University of Ceylon) ගණිතය පිළිබඳව පළමු පන්තියේ සාමාර්ථයක් එක්ක BSc උපාධිය හිමි කර ගත්තා. ඉන් පස්සේ ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ට්‍රිනිටි විද්‍යාලයෙන් PhD උපාධියත්, කේම්බ්‍රිජ් සරසවියේම ජේසුස් විද්‍යාලයෙන් ScD උපාධියත් ලබා ගන්න සමත් වුණා. ඔහු තමන්ගේ PhD එක වෙනුවෙන් මුල් වරට විද්‍යාත්මක ලිපියක් පළ කළේ “On Graphite Particles as Interstellar Grains” (ග්‍රැෆයිට් අණු පිළිබඳව අන්තරීක්ෂ අංශු වශයෙන්) කියලයි. මෙය නැසී ගිය ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් මහතාගේ අධීක්ෂණය යටතේයි ලියැවුණේ.
1974 අවුරුද්දේදී මහාචාර්ය වික්‍රමසිංහ මහතා අභ්‍යාවකාශයේ සැරිසරන දූවිලි අංශු වලින් සමහරක් බොහෝ දුරට කාබනික සංයෝග වලින් නිර්මාණය වෙලා තියෙන බවට අදහසක් ඉදිරිපත් කළා. අපි කලින් කියපු “විසිරි ජීව අංශු න්‍යායේ” හොයිල් – වික්‍රමසිංහ ආකෘතිය, නැතිනම් පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යාවකාශයේ සිට ආ ක්ෂුද්‍ර ජීවීන්ගෙන් කියන අදහස තමයි මෙතුමා විද්‍යාවට ලබා දුන්නු වැදගත්ම දායකත්වය විදිහට සැලකෙන්නේ. කේරලයට වරින් වර වැටුණු රතු පාට වැස්ස සහ පොළොන්නරුවට පතිත වුණු උල්කාෂ්ම වල තිබුණු ක්ෂුද්‍ර ජීවී පොසිල හැඩ මේ න්‍යාය සඳහා සාක්ෂි විදිහට ඉදිරිපත් වුණා.

මහාචාර්ය වික්‍රමසිංහ මහතා විශාල ප්‍රසිද්ධියක් උසුලන්නේ පෘථිවියට ජීවය
ලැබුණේ ඈත අභ්‍යාවකාශයේ සිට පැමිණි ක්ෂුද්‍රජීවීන්ගෙන් කියන මතය
ඉදිරිපත් කිරීම නිසයි. මේ මතය හැඳින්වෙන්නේ “Panspermia”
 (විසිරි ජීව අංශු න්‍යාය) කියලයි.
වික්‍රමසිංහ මහතා අන්තරීක්ෂ මාධ්‍යය (Intersteller Medium), අධෝරක්ත තාරකා විද්‍යාව (Infrared Astronomy), ආලෝක විසිරි න්‍යාය (Light Scatter Theory) ඝන මාධ්‍ය භෞතික විද්‍යාව (Solid-State Physics) තාරකා විද්‍යාවට වැදගත් වන අවස්ථා, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධිය, උල්කා, තාරකා රසායන විද්‍යාව (Astrochemistry), ජීවයේ සම්භවය සහ තාරකා ජීව විද්‍යාව (Astrobiology) වගේ අංශ විශාල ගණනක් ගැන උනන්දුවක් දක්වනවා. මෙතුමා මේ වගේ විවිධ අංශ වලට අදාළ කාරණා ගැන මේ වන විට පළ කරලා තියෙන පොත් ගණන 30කටත් වැඩියි. මීට අමතරව රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් වලටත්, චිත්‍රපට කිහිපයකටත් වික්‍රමසිංහ මහතා සහභාගී වෙලා තියෙනවා.
චන්ද්‍රා වික්‍රමසිංහ මහාචාර්යතුමා අන්තර්ජාලය සහ බ්ලොග් අඩවි සඳහාත් ලිපි ලියා පළ කරනවා. එතුමාට ලැබිලා තියෙන සම්මාන ගණනාවක් අතරින් විද්‍යා ජෝති සම්මානය සහ Commonwealth Scholar (පොදුරාජ්‍ය මණ්ඩලීය ශාස්ත්‍රඥ) කියන සම්මාන වැදගත් තැනක් ගන්නවා. වික්‍රමසිංහ මහතාගේ ලිපි සහ ප්‍රකාශන කියවා බලන්න කැමති නම් එතුමාගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්නත් ඔබට පුළුවන්.
පසුගියදා පැවැති දෙරණ SRI LANKAN OF THE YEAR සම්මාන උළෙලදී GLOBAL SCIENTIST ට හිමි සම්මානය ද දිනාගන්නා ලදී.

No comments

Powered by Blogger.