ඔබව මත්කර ඇවිදින පිල්ලියක්‌ කරන ZOMBI ලංකාවට ඇවිත්ද

ලංකාවේ වැඩි දෙනා මත්ද්‍රව්‍ය කියූ සැණින් සිතන්නේ අරක්‌කු, හෙරොයින්, සිගරැට්‌, දුම්කොළ එල්. එස්‌. ඩී. වැනි අද අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ හිමිවන මත්ද්‍රව්‍ය ගැනයි. ඒත් අද ලෝකයේ ඊට වඩා භයානක METH, GHB, KATAMINE වැනි මත්ද්‍රව්‍ය ඇත. මෙහි ගැටලුව වන්නේ පුරාවිද්‍යාව ගැන පමණක්‌ සොයන නිසා අලුතෙන් එන වැඩියෙන් භයානක මත්ද්‍රව්‍ය අපේ අයට මඟහැරීමය. එහි ප්‍රතිඵල වඩාත් භයානකය. මන්දයත් ඒ මත්ද්‍රව්‍ය ගැන ලක්‌ සමාජයට යන්තමින් හෝ ඉව වැටෙන්නේ ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තත්ත්වය ඔඩුදිවුවාටත් පසුවය. හරියටම කියනවා නම් කොකේන් කන්ටේනර් ගැන පමණක්‌ සිතමින් සිට අපිට ලොව භයානකම මත්ද්‍රව්‍යයක්‌ වූ CRISTAL METH මග ඇරුණා වගේය. තෙලිජ්ජ කට්‌ටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර සිටියදී භයානක හෂීෂ්වලට රට ඇබ්බැහි වූවා වැනිය. කතාව සරලවම කියනවා නම් මෙසේය. අපි මීට වඩා හොඳින් මත්ද්‍රව්‍ය ලෝකයේ නාඩි ගැන අවධානයෙන් සිට හරිම නිලය අල්ලා ගන්නට අවශ්‍යය.

අද ලෝකයේ අලුතෙන්ම දිවෙන මත්ද්‍රව්‍ය රැල්ල ZOMBI DRUGS ය. ZOMBI DRUGS ලොව ඇති භයානකම මත්ද්‍රව්‍යයක්‌ වන්නේ එය අනෙක්‌ මත්ද්‍රව්‍ය වලට වඩා එයින් මත්වන ස්‌වභාවය වෙනස්‌ වන නිසාය. හරියටම කිව්වොත් ZOMBI DRUGS මිනිසුන් පණපිටින් යන පිල්ලියක්‌ බවට පත් කරන නිසාය.

ඇමරිකාවේ ඉපදුන ZOMBI DRUG ලෝකෙ වටා කරක්‌ගහන අතරේ මේ අන්දමන්ද දූපතට ද පෑල දොරින් ගොඩවන්නට ඕනෑවටත් වඩා ඉඩ ඇති බව තේරුම් ගැනීම උකුණු හිසක්‌ තරම් මොළයක්‌ ඇති අයෙක්‌ට ද අපහසු නැත. මේ අන්දමන්ද රටට මත්ද්‍රව්‍ය එන්නේ කන්ටේනර් වලින්ය. අල්ලන මත්ද්‍රව්‍යවලට වන්නේ මොකක්‌ද කියා ජනාධිපති දන්නේත් නැත. නොදන්නා නිසා කැබිනෙට්‌ටුවෙන් ඇසූවිට ඔවුන් දන්නේ ද නැත. රටේ ඉහළම තැන් දෙක නොදන්නා කෙහෙල්මලක්‌ ගැන අනෙක්‌ අයගෙන් දන්නවාදැයි ඇසීම කාලය කා දැමීමකි. ඒ මොනවා වුණත් අඩුම ගානේ මාසයකට සැරයක්‌ වත් පත්තරේ පොල් ගෙඩි අකුරින් දාන්න තරම් මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක්‌ මේ දීපංකරේ කොහේ හෝ තැනකින් වාර්තා වෙයි. 



ඒවා කොකේන්, හෙරොයින්, පිෂා වගේ මත්ද්‍රව්‍ය ගැනය. ලංකාව මත්ද්‍රව්‍යවලට පාරාදීසයක්‌ යෑයි තීරණය කිරීමට ජනාධිපතිට කොමිෂන් පත්කරමින් කාලය කා දමන්නට අනවශ්‍යය. උදේ පාතරාසය ගන්නා ගමන් පත්තර ටික බැලුවානම් ඇතිය. ලංකාවේ කුප්‍රකට BEACH PARTY වල (ICE) CRISTAL METH භාවිතා කරන බව ප්‍රසිද්ධ රහසකි. ICE තිබෙන රටේ පොලිසියට අහු නොවුණු පමණින් ZOMBI DRUGS නැතැයි සිතීම දවල්ට තරු නොපෙනෙන නිසා දවල්ට අහසේ තරු නැතැයි කියනවා වැනිය. ICE පොලිසිය අහු වුණේ මේ ළඟකදී වූවාට ICE ලංකාවේ බින්න බැස්‌සේ 77 විවෘත ආර්ථිකයෙන් පසු පළමු දශකයේදී බව දන්නෝ දනිති. ඒ නිසා ZOMBI සම්බන්ධයෙන් ද අපට පොලිසියෙන් ඊට වඩා දෙයක්‌ බලාපොරොත්තු විය නොහැකිය. එක්‌ අතකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නොදැන සතොසට කොකේන් කන්ටේනර් ගණන් ආවාසේ ලොකු ලොක්‌කන්ගේ සූට්‌කේස්‌වල ලංකාවට ZOMBI DRUGS පැමිණීමට ඕනෑවටත් වඩා ඉඩ ඇත. වැටත් නියරත් ගොයම් කානම් ඒ අමාරුව කියන්නට ඇත්තේ පඹයාටය. ඒත් මේ නිදහස්‌ නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී µeසිස්‌ට්‌වාදී රටේ යහපාලන ආණ්‌ඩුවට ඕවා කීම බීරි අලින්ට වීණා වයනවාට වඩා හපන් නිසා ඒ ගැන තවත් ලිවීම ඔබේ කාලයත් මගේ පෑනේ තීන්තත් නාස්‌ති කිරීමකි. එහෙත් ZOMBI DRUGS යනු මොනවාදැයි ඔබට හඳුන්වා දීම අනාගතයේ ඔබ හෝ ඔබ දන්නා කෙනකු විශාල විපතකින් මුදා ගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේ යෑයි සිතමි.

ZOMBI DRUGS යනු සුදුපාට සූකිරි කැට වැනි මත්ද්‍රව්‍යයකි. වීදුරු බෝතල් වල මේවා අසුරා ඇත. ZOMBI DRUGS කැට යම් බඳුනක දමා රත් කරන විට එය දියවෙයි. එම දියරය ශරීරයට එන්නත් කරගන්නා අතර වැලමිට, කකුලේ මහපටඟිල්ලත් දබරැඟිල්ලත් අතර ඇති කරුව, ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම රහස්‌ ස්‌ථාන මෙම එන්නත් කර ගන්නා ප්‍රසිද්ධ ස්‌ථානයි. එන්නත් කරගන්නා තැන් ඉක්‌මනින්ම සුව නොවන ඔඩු දුවන තුවාලයක්‌ දදයක්‌ බවට පත්වෙයි. OXY, VIKES, TRANKS, MINS, ZOMBI PILLS, SPEED, BLOOM, WITE
GIRLS, BLUE MAGIC, WITE KNIGHT, GOULDIO, GOLD RUSH ZOOM, NICE GUY, ARTIC BLAST, VITAMIN R, UPPER, VICODIN, VAIIUM, AMDINE යනු ZOMBI DRUGS හැඳින්වීමට ගන්නා වීදි නම් වලින් කිහිපයකි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ZOMBI DRUGS මිනිසුන්ව ඇවිදින මළමිනි කරයි. පිල්ලි බවට පත් කරයි. ZOMBI DRUGS භාවිතා කළ පසු ඇතිවන මත්වූ ස්‌වභාවය සිහියකින් බලා සිටින ඕනෑම අයකුගේ ඇඟේ මයිල් කෙලින් වීම සාමාන්‍ය දෙයකි. ඔවුන්ගෙන් සමහරෙක්‌ තමාටම දැඩිව හානි කරගනිති. තවත් අය අනුන්ට හානිකරති. සමහරු නිරුවතින් සිටිමින් ඉතාත් දරුණු ලෙස සාමාන්‍ය මිනිසුන්ට පහරදෙති. මාර්ගයේ ධාවනය වන වාහනවලට පනිති. සමහරු ඇවිදින්නේ ZOMBI චිත්‍රපටවල අප දැක ඇති චරිතවල එන පිරිස මෙනි. තමාගේම ශරීර කොටස්‌ වල මස්‌ ඉරාගෙන එය ආහාරයට ගන්නා පුද්ගලයන් මේ අතර වෙයි. 

ඉහතින් සඳහන් කළේ ZOMBI DRUGS වලට ඇබ්බැහි වූ අයගේ හැසිරීම ගැනය. මේවා භාවිතා කළ අයට ඉතාමත් අධික වේදනාවක්‌ දැනෙයි. අප දකින අනෙක්‌ මත්ද්‍රව්‍ය මෙන් නොව ඒ වේදනාව ඉතා භයානක එමෙන්ම අධික කම්පනය, වමනය, නාසයෙන් ලේ ගැලීම, හිසරදය, හෘද ස්‌පන්දනය අක්‍රමත්වීම් පපුවේ වේදනාව, අසිහිය ආදී ලක්‍ෂණ මේවා භාවිත කළ අයට දැනෙයි. මේවා භාවිතා කළ විට ශරීරයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යන අතර එය සෙල්සියස්‌ අංශක 104 ද ඉක්‌මවා යයි. මේවා භාවිතා කළ විට කථන ආබාධ ඇති වන අතර ඔවුන් කතාකරනවාට වඩා කරන්නේ ගෙරවීම හා භයානක උස්‌ හඬකින් කෑගැසීමය.

මේවාට ඇබ්බැහි වූ අයට ලැබෙන ත්‍යාග ඉතා වේදනාකාරී තුවාල, පිළිකා ඔඩු දුවන තුවාල, කොළ හා කළු පොතු කබර ගැලවෙන හම, දුර්වල මතකය, ඉතා දුර්වල ප්‍රතිශක්‌තිය හා අවසානයේ වේදනාකාරී භයානක මරණයකි. ZOMBI වලට ඇබ්බැහි වූ අවසානයේ උරුමකර ගන්නා මරණය ලොව ඇති වේදනාත්මක සහ භයානක මරණ වලින් එකක්‌ ලෙස හැඳින්විය හැකිය. ZOMBI චිත්‍රපටවල දැක ඇති ලෙසටම අත් ඇඟිලි, පා ඇඟිලි පමණක්‌ නොව මැණික්‌ කටුවෙන් පහළ වළලු කරත් ගැලවී ගිය අය අත් පා වල මාංශපේෂි දියව ගොස්‌ අස්‌ථි එළියට පේන අත් පා ඇති අය, මුහුණේ මාංශපේෂි දියව ගොස්‌ මුඛයේ හක්‌ක එළියට පේන, ඇස්‌ බෝල, නහය කන් ගැලවී ගිය අය රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඒ ඡායාරූප දකින අය භීතියෙන් ගල් ගැසෙන තරම් භයානකය. උදාහරණයක්‌ ලෙස ලාදුරු රෝගයට ගොදුරුවන බෙහෙත් නොකළ අයෙක්‌ගේ අත් පා ආදිය ගැලවී යන්නේ කෙසේ ද එසේම ZOMBI DRUGS වලට ඇබ්බැහි වූ අයෙක්‌ගේ අත් පා ගැලවී යයි. එපමණක්‌ නොව මාංශ පේෂි ද දියවී යයි.

ZOMBI කෙතරම් භයානක මත්ද්‍රව්‍යයක්‌ ද යන්නට තවත් අටුවා ටීකා අවශ්‍ය නැතැයි සිතමි. ZOMBI වලට මාසයක්‌ වැනි කෙටි කාලයකින් දැඩිව ඇබ්බැහි වෙයි. දැඩිව යන්නෙත් අදහස්‌ කළේ ZOMBI නැති වුවහොත් මරාගෙන මැරෙන තත්ත්වයට පත්වන බවය. ඒ තත්ත්වයට පත් වූ අයෙක්‌. සක්‍ර දෙයියන් පැමිණ ඔළුවෙන් හිටගෙන එපා කිව්වත් අහන්නේද නැත. අහන්නද බැරිය. ZOMBI DRUGS වල කතාව එසේය. ZOMBI DRUGS ගැන සොයා බැලීමේ වගකීම පොලිසිය, රේගුව, ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය ආදී ඒ සියලු දෙනා සතුවේ. ඔවුන් ඒ වගකීම පැහැර හැරිය හොත් මස්‌ දියවී ඇටකටු හැලී වේදනාවෙන් මොර දෙමින් ප්‍රසිද්ධ ස්‌ථානවල පවා සියදිවි නසා ගන්නා පිරිසක්‌ නුදුරේදීම අපේ සමාජයට එක්‌වනු ඇත.

No comments

Powered by Blogger.