ලෝකයටම දැනුම බෙදූ ලංකාවේ විශ්වකර්මයා කොන්ක්‍රීට් කුලසිංහ
කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කීප වරක් දකින්නකු තුළ වුවත් විස්මයක් හට ගනු නො අනුමානයි. එහි නිර්මාතෘවරයා ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා. අපේ රටේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන්නේ ඔහු. චෛත්‍ය, තට්ටු නිවාස, ආයතන, ගොඩනැඟිලි, වරාය, පාලම් යනාදි වශයෙන් ඉදිකිරීම් ගණනාවකට නිර්මාතෘ වන්නේ කුලසිංහ. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍ය අතරින් ශ්‍රී ලංකාව 1948 න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කීපදෙනකු ම බිහි කළ අතර ආචාර්ය කුලසිංහ ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් වරක් පවසා සිටියා.
1919 දී ජාඇළ උදම්විට උපන් ඒ. (අරුමා දර) එන්. (නන්දසේන) එස්. (සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන්. ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති. ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NERD) ආරම්භ කරන ලද්දේත් කුලසිංහයන් විසින්. විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ හෙතෙම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා තිබෙනවා. 1979 දි මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනැමුවා. පෙරසවි තාක්ෂණය (PRE STRESSED CONCRETE) හඳුන්වා දීමේ පුරෝගාමියා ආචාර්ය කුලසිංහ. ඒ අනුව ඔහු ඉදිකිරීම් රැසක් කර තිබෙනවා. වරක් අපේ රටේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයෙක් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා. එහිදි මැලේසියානු නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා අපේ ඇමැතිට කියා ඇත්තේ මෙවැන්නක්. “අපිත් නිවාස ඉදිකිරීම්වලදි තාක්ෂණික උපදෙස් ගත්තේ ඔබේ රටින්. ඒ කියන්නේ කුලසිංහ නමැති දක්ෂ ඉංජිනේරුවරයාගෙන්. එහෙම අය ඔබේ රටේ ඉද්දි ඔබලා මොකටද එන්නේ අපෙන් උපදෙස් ගන්ට.” කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල ද උපදේශක ඉංජිනේරුවකු ලෙස කටයුතු කර තිබෙනවා.
දුම්රිය මාර්ගවලට කොන්ක්‍රීට් සිල්පර දැමීමෙන් සියයට විසිපහක මුදලක් ඉතිරි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා. දේශීය ඉංජිනේරුවන් ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විශ්වාසය තැබුවා. විදේශීය උපදෙස් ගැන ඔහු ඒ තරම් තැකීමක් කළේ නැහැ. ඔහු ඇතැම් අවස්ථාවලදි විදේශීය ඉංජිනේරුවන් සමඟ ගැටුණු බවක් ද සඳහන් වෙනවා. ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරුඔය ජලාශයේ ඉදිකිරීම්. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදි ඉහළින් ලැබුණු නියෝගකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි. එයට හේතුව වුණේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීම. මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන්නත් වගකිව යුත්තන් එය ගණනකට ගත්තේ නැහැ.ග්‍රහලෝකාගාරයඅවසානයේ සිදුවූයේ කුමක් ද? මිලියන 650 කින් නිම කරන්නට සැලසුම් කර තිබූ මෙම ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන දෙදහස් අටසීයක් වැයවීම. එපමණක් නොවේ. දේශීය සැලසුම්වලට මෙගාවොට් 6 ක විදුලි බලාගාරයක් ද ඇතුළත් වුණා. ඒත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුණේ නැහැ. ඒ නිසා ඉන් ලැබෙන වාසිය ද අපේ රටට අහිමි වුණා. ප්‍රතිඵලය වුණේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ ගලා ගෙන යෑමයි. වානේ සංස්ථාව හා පිටි කම්හල ඉදිකිරීම්වලදී ද මෙවැනි පරස්පර විරෝධතා නිසා කුලසිංහයන් රුසියානු ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ඔහුගේ සමකාලීයන් කියා තිබෙනවා. කළුතර බෝධිය කුලසිංහයන්ගේ තවත් මාහැඟි නිර්මාණයක්. මෙහිදි ඔහුට ගැටෙන්න සිද්ධ වුණේ අපේ ම අය සමඟ. මහාචාර්ය සෙනරත් පරණවිතාන කුලසිංහගේ සැලස්මට එකඟත්වය පළකළේ නැහැ. මෙහි සැලැස්ම වුණේ ගෘහයක් සහිතව චෛත්‍යය පිහිටීම. දුටුගැමුණු යුගයේවත් මෙවැනි ගෘහයක් සහිත චෛත්‍යයක් ඉදිකර නැති බව පරණවිතානයන් තර්ක කළා. ඊට කුලසිංහ දුන්නේ මෙවන් පිළිතුරක්.
“දේශීය පැරණි තාක්ෂණය මා අගය කරනවා. පස්වලින් වේලි හදපු රටක් මේක. ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ අද මේ තියෙන තාක්ෂණය තිබුණේ නැහැ. තිබුණ නම් එතුමත් අනිවාර්යයෙන්ම යොදා ගන්නේ මේ තාක්ෂණය. චෛත්‍යය හදන්නේ ගඟක් (කළු ගඟ) ආසන්නයේ. වර්ග අඩි 100 ක විෂ්කම්භයක් ඇති මේ චෛත්‍යය ගලෙන් බැන්දොත් ඒක ගිලා බහිනවා.”වික්ටෝරියා වේල්ලකළුතර චෛත්‍යයේ නිර්මාණ සැලැස්ම දුටු ලංකාවේ කිසිම ඉදිකිරීමේ සමාගමක් එය ඉදිකිරිම භාර ගත්තේ නැහැ. අවසානයේ කුලසිංහ ම ඉදිරිපත් වී චෛත්‍යයේ වැඩ නිම කළා. (මෙහි වටදාගෙය වාස්තු විද්‍යා උපදේශක ජස්ටින් සමරසේකර නිමැවුමක්) අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නැති කම ගැන කුලසිංහයන් නිරන්තරවම කතා කළා. “අපේම සම්පත් උපයෝගි කරගෙන, දේශගුණයට සරිලන පරිදි වියදම් අඩු, පරිසරයට හානියක් සිදු නොකරන ඉදිකිරීම් ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනෑ.” ඒ ඔහු කියූ දේ. එවිට විදේශීය සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා. 2002 වසරේ ප්‍රකාශනයට පත් කුලසිංහ අභිනන්දන ග්‍රන්ථයට ලිපියක් ලියන ආතර් සී. ක්ලාක් කියා ඇති දෙයකින් මෙම ලිපිය නිම කිරීම උචිත යැයි මා කල්පනා කරනවා. “බටහිරින් පැමිණි ඉතාමත් හොඳ යැයි සැලකුණු තාක්ෂණික ක්‍රම වෙනුවට දේශීය ප්‍රශ්නවලට දේශීය විසඳුම් සෙවීමට ඔහු (කුලසිංහ) උත්සාහ ගත්තේය. ඒ දේශීය හැකියාව හා දේශීය සම්පත් යොදා ගනිමිනි



Leave a Comment