දේවානම්පියතිස්‌ස රජු මියගියේ අක්‌මාවේ පිළිකාවකින්ද?

'සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝධයා.' මෙය අපේ රට අල්ලාගත් ඉංග්‍රීසිකාරයා අපේ මොළ ශෝධනය සඳහා යොදා ගත් ආප්තෝපදේශයක්‌ යයි පවසන්නෝ ද අද සිටිති. එහෙත් බලාගෙන යනකොට මේ කතාවේ ඇත්තක්‌ නැත්තේම නොවේ. නැතිනම් අපේ වංශකතා ඉස්‌පිල්ලක්‌ පාපිල්ලක්‌ නෑර විශ්වාස කරන්නන් මේ තරම් සිටින්නට නොහැක. එසේම අවුරුදු පතා සෑම පොසොන් පෝයකටම අශෝක අධිරාජයා ඉදිරියේ බෞද්ධ සිංහලයන් දණින් නොවැටෙනු ඇත.

මහාවංසය හා මහාවංසය ගැන සවිස්‌තරාත්මක විග්‍රහයක යෙදෙන වංසත්තප්පකාසිනිය පමණක්‌ උපයෝගී කරගෙන ලක්‌ ඉතිහාසයේ අනභිභවනීය රජු දේවානම්පියතිස්‌ස රජු ගැන අපි සොයමු.

මහාවංසයේ 11 වැනි පරිච්ඡේදයට අනුව දේවානම්පියතිස්‌ස කුමරු මුටසිවගේ ඇවෑමෙන් ඒ කියන්නේ මුටසිව රජුගේ මරණින් පසු ලංකාවේ රජවිය. අපේ වංසකතා කියන්නේ තිස්‌ස, රජ වූ සැනෙන් නොයකුත් මහා අනර්ඝ වස්‌තූන් පහළ වූ බවත් ඒවා වඩා සුදුසු වන්නේ තමාට නොව තම නුදුටු මිතුරා වන අශෝක රජුට බව යෑයි පවසමින් තිස්‌ස රජ ඒවා අරිටඨ ඇමැති අත අශෝක රජුට යෑවූ බව ය. කුමන පදනමක පිහිටාද තිස්‌ස රජ එවැනි දෙයක්‌ තීරණය කළේ? 

වංසකතාකරුවන් කිසිදා අනාගත ලොව මෙසේ වේ යෑයි දැන සිටියේ නැත. 19 වැනි සියවසෙන් පසු විද්‍යා තක්‍ෂණයත් සමඟ ලෝකය විශ්ව ගම්මානයක්‌ වන බවත්, ලෝකයේ සිදුවන දේ ඒ ක්‌ෂණයකින් දැනගත හැකිවා පමණක්‌ නොව සිදු වූ දේ ගැනද නිවැරදි ව දැනගැනීමට හැකි තොරතුරු සංනිවේදන වන බවත්, පුරාවිද්‍යාඥයන් කියා කොටසකුත් බිහිවන බවත් නොදැන සිටියහ.

ඒ තොරතුරු දැනගැනීමේ තාක්‌ෂණය නිසා දැන් අපි ගී්‍රක මූලාශ්‍රයන් දෙසට හැරෙමු. මහා ඇලෙක්‌සැන්ඩර් රජු ඉන්දියාවට එන්නේ ක්‍රි.පූ. 326 දී ය. එකල මගධය පාලනය කළේ ධනනන්ද රජු ය. මොහුව යටත් කර ගැනීමට ඇලෙක්‌සැන්ඩර් රජුට හැකියාවක්‌ නොලැබුණි. වරක්‌ පංජාබයේදී චන්ද්‍රගුප්ත කුමරු ඇලෙක්‌සැන්ඩර් රජු මුණගැසීමට යයි. ගී්‍රකයන් ඔහුව හඳුන්වන්නේ සන්ද්‍රකොප්ටෝස්‌ නමිනි. රෝගී වූ ඇලෙක්‌සැන්ඩර් රජු ක්‍රි.පූ. 323 දී ඉන්දියාවෙන් පිටවූ බව සැලකේ. ඔහු අල්ලාගත් ප්‍රදේශ ඔහු වෙනුවෙන් පාලනය කරන්නේ සෙලියුලස්‌ නිකේටර් නම් ග්‍රීක ජාතිකයාය. ඊළඟට චන්ද්‍රගුප්ත ධනනන්ද මරා මගධයේ රජ වේ. ජෛනාගමිකයෙක්‌ වන ඔහු ඉන්දියාවේ පළවැනි අධිරාජයා වේ. ඔහු අශෝකගේ මුත්තා ය. (පියාගේ පියා) මේ චන්ද්‍රගුප්තට තම දියණිය විවාහ කර දෙන නිකේටර්, තම තානාපති ලෙස මෙගස්‌තීනස්‌ එහි යවයි.

තානාපති මෙගස්‌තීනස්‌ට අනුව ඉන්දියාවේ අලි ඇතුන්ට වඩා විශාල වූද, ශක්‌තිමත් වූද, අලි ඇතුන් වෙළඳාම පිණිස පහුරුවල පටවා එවූ බවද, ලංකාවෙන් ඉන්දියන් මුතුවලට වඩා විශාල මුතු ලැබුණු බවත්, ඉන්දියාවට වඩා විශාල රත්රන් නිධි ලංකාවේ ඇති බවත් වාර්තා කර ඇත. (ඇන්තනී 2006 පි.203)

මෙගස්‌තීනස්‌ පමණක්‌ නොවේ, මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ සේනාධිපති ඔනිසික්‌රිටස්‌, ග්‍රීක ලේඛක ප්ලුටාක්‌, ග්‍රීක නැවියකු වන ජුස්‌ටින් යන අය පවා මේ කාලයේ අප රට ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රබල ස්‌ථානයක තිබූ බව සඳහන් කර ඇත. ඇලෙක්‌සන්ද්රියාවේ කෞතුකාගාරයේ ඒ සටහන් ඇති බව කියවේ. (විකිපීඩියා) 

මෙසේ අප රට ජාත්‍යන්තර වෙළඳාමේ ද නියුක්‌ත වූවේ (International trade) අද ඊයේක නොවේ. දේවානම්පියතිස්‌සගේ මුත්තා, පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයේ පටන් බවට ලිත සාධක ඇත.

මේ පණ්‌ඩුකාභය රජු අනුරපුරයේ ඇතුල්නුවර බටහිර දොරටුව අසල යෝනකයන් සඳහා ශාලා පිහිටවූයේය (ගයිගර්ගේ මහාවංසය 2003, පි. 74) මේ යෝනකයන් යනු වෙළඳාමේ යෙදී සිටි ගී්‍රකයන් හෝ අරාබිවරුන් විය හැකි යෑයි ගයිගර් පවසයි. ගණන් බැලීමේදී මේ පණ්‌ඩුකාභය රජතුමා සිටියේ ක්‍රි.පූ.437-367 දක්‌වා ය. 

පුරාවිද්‍යාඥ සිරාන් දැරණියගල මහතා ඇතුල් නුවර කැණීම්වලින් 2003 වසරටත් පෙර ඔප්පු සිද්ධ කළේ පණ්‌ඩුකාභය රජුගේ මේ අගනුවරයි. මේ අනුරපුරයේ මුළු සැලසුම ම වංසකතා හොඳින්ම ඉදිරිපත් කර ඇත. මෙය ලෝකයේ පළමු වාර්තාගත නගර සැලසුම විය හැක. මෙය නිර්මාණය කොට ඇත්තේ ජෝතිය නම් බමුණාය. පසුකාලයක ජීවත් වූ රජකු විසින් ජෝතිය බමුණාගේ පරම්පරාවට ලබා දුන් මුක්‌තියක්‌ සම්බන්ධයෙන් සෙල්ලිපියක්‌ ද වේ.

කොට වෙහෙරක්‌ ඉදි කරනුයේ ස්‌මාරකයක්‌ වශයෙන් බව තහවුරු වන්නේ අපේ රටේ ඉදි වී ඇති කොට වෙහෙරයන් පිළිබඳව සමීක්‌ෂණ කිරීමෙනි. පහතින් සඳහන් වන්නේ දැනට සොයාගෙන ඇති කොට වෙහෙරයන් හතරයි.

1. දැදිගම සුතිඝර චෛත්‍ය 

2. රඹුක්‌කන අසල දැලිවල කොට වෙහෙර 

3. පොළොන්නරුවේ දෙමළ මහා සෑය

4. ලාහුගල කොට වෙහෙර 

රඹුක්‌කන දැලිවල කොට වෙහෙර ඉදි කළේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක්‌ සංකේතවත් කිරීමටද? මෙය දේවානම්පියතිස්‌ස රජු කල ඉදි වුවක්‌ බව කියෑවේ. වර්ෂ 2001 දී මේ ස්‌ථානයේ කරන ලද කැණීම්වලින් සේද රෙදි කඩක ඔතන ලද රත්තරන් ධාතු කරඩුවක්‌ සොයා ගැනීමට හැකි විය. මෙම රෙදිකඩ කාලනිර්ණය සඳහා ඕස්‌ටේ්‍රලියාවට යවන ලදුව මහාචාර්ය ජුඩිත් කැමරන් විසින් එය ක්‍රි.පු. 2 වැනි සියවසට අයත් බවට අපගේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට වර්ෂ 2010 දී දන්වා ඒවා තිබුණි. මෙයින් හැඟවෙන්නේ කුමක්‌ද? චීනයේ හන් පෙළපත ක්‍රි.පු. 3 වැනි සියවසේදී මුහුදු සේද මාවතට අවතීර්ණ වූ දා පටන් ම වාගේ අපත් ඒ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වූ වග නොවේද? එසේම අප මේ නැව් මාර්ගයේ ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ විය. චීනයේ හැනෝයි රතු ගංගා මෝයෙන් ඇරඹෙන මේ සේද මාවත මලක්‌කාවට, අග්නිදිග ආසියාවට, ලංකාවට, ඉන්දියාවට හා පර්සියන් බොක්‌ක ඔස්‌සේ රතු මුහුදට වැටී එතනින් ගොඩබිම ඔස්‌සේ නයිල් නදියෙන් ඇලෙක්‌සැන්ඩ්රියාවට ප්‍රවාහනය කළ භාණ්‌ඩ නැවත මුහුදින් රෝමයට ගෙන ගොස්‌ ඇත. ඉතින් චීනයේ හන් රාජවංශිකයෙක්‌ අනිවාර්යෙන්ම අප සමග වෙළෙඳ ගිවිසුමක්‌ ගැසීමට අගනා සේද රෙදි කඩක එතූ මේ කරඬුව ගෙන ආවා වෙන්නට බැරිද? 

සංගම් සාහිත්‍යයේ ද දකුණු ඉන්දියාවට ලංකාවෙන් ගිය නැව් ගැන පැවසේ. එසේ නම් දකුණු ඉන්දියාවත් සමඟ ලංකාව ඉතා සුහද ව ක්‍රියා කරන්නට ඇත.

අපේ රජවරුන් ජාත්‍යන්තර වෙළෙඳාමේ යෙදී සිටි බවට මෙතරම් පැහැදිලි සාක්‌ෂි තිබෙද්දී මේ පහළ වූ වස්‌තුව තමන්ට උරුම නැතැයි තිස්‌ස රජු තීරණය කරයි ද? රජවරු පමණක්‌ නොව බිසෝවරුද ප්‍රබල වෙළෙන්දියන් වී සිටින්නට ඇති වග අපට පසක්‌ වනුයේ මිහිඳු හිමිගෙන් චුල්ල හත්ති පදෝපම සුත්‍රය අසා අනුලා දේවිය පමණක්‌ සෝවාන් වීමෙනි. එතුමිය ජාත්‍යන්තර ඇත් වෙළඳාමේ යෙදුණා පමණක්‌ නොව අලි ඇල්ලීම නිරීක්‌ෂණය කිරීමට කැලෑවටත් ගොස්‌ තිබිය යුතුමය. ඒ නිසයි ඇයට ඔය තරම් හොඳට ඇත් පද උපමාව වැටහුණේ.

එසේ නම් එදා කුමක්‌ද සිදුවුණේ? මහාවංසයේ 11 වැනි පරිච්ඡේදයට අනුව මුටසිවගේ ඇවෑමෙන් (මරණයෙන් පසු) දේවානම්පියතිස්‌ස කුමරු රජ වෙයි. එහෙත් මහාවංශයේම 13 වැනි පරිච්ඡේදයේදී මේ මුටසිව රජු යලිත් පණ අදිමින් සිටියි. 13 වැනි පරිච්ඡේදයේ දෙවැනි ගාථාවට යමු.

ලංකාදීපං පසාදෙතුං කාලං විචින්තයි 

වුද්ධෝ මුටසිවො රාජා රාජා හොතු සුතො ඉති 

වංසත්තප්පකාසිනියේ මේ ගාථාව මෙසේ විග්‍රහ කරයි. 

බුදුසසුන නොපිහිටි හෙයින් මිලින වූ ලක්‌දිව පහදවනු පිණිස කල්යල් බලමින් මෙසේ සිතුහ යන අර්ථයයි.

"මේ මුටසිව රජ තෙමේ මහලු වියෙහි සිටියේය. මොහු ලවා සසුන් පිහිටවනු නොහැකිය මොහු පුත් දෙවනපෑතිස්‌ තෙමේ රජ වන්නේය ඔහු ලවා සසුන් පිහිටවනු හැකිවේ කාලය එළඹෙන තෙක්‌ ඥාතීන් හට සංග්‍රහ කෙරෙමි'යි සිතුහ යන අර්ථයයි. 

මිහිඳු හිමි මෙහි වඩිනට කලින් වේදිසයේ සත් මසක්‌ ගෙව්වේ මෙහි සිටි රජු මරණාසන්නව සිටි නිසාය. කවුද ඒ රජු? මහාවංසය ලියූ මහානාම හිමියන් හිතාමතා අපව නොමග යවා නැත. එසේ කළා නම් මිහිඳු හිමි වේදිස නුවරට වී සත් මසක්‌ සිටීම ගැන වෙනත් කතාවක්‌ ගොතනු ඇත. උන්වහන්සේත් අසා තිබී ඇත්තේ මිහිඳු හිමිගේ ප්‍රමාදයට හේතුව වශයෙන් රජෙක්‌ මැරෙන තුරු සිටි බවයි. උන්වහන්සේගේ විශ්වාසය අනුව දේවානම්පියතිස්‌ස රජ වුයේ අශෝකට පසුව කියා සිතන නිසා සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නොමැතිව ඒ මුටසිව කියා නිගමනය කරයි.

කීයටවත් ඒ මුටසිව රජු නම් නොවේ. හේතුව දේවානම්පියතිස්‌ස රජ වූ පසුයි තම බෑණා වූ අරිට්‌ඨ සහ බමුණුය, ඇමතිය, ගණකය, යන අනෙකුත් තිදෙනාත් ප්‍රධාන කොටගෙන පාටලී පුත්‍රයට විශාල වස්‌තු සම්භාරයක්‌ යවනුයේ. මේ ගමනට දින 13 ක්‌ ගතවූ බව කියවේ. මේ පිරිස එහි සත් මසක්‌ රැඳේ. ඊළඟට අශෝක රජුගේ රාජ්‍ය කකුධ භාණ්‌ඩත් රැගෙන ඔවුන් මෙහි ආ විට දේවානම්පියතිස්‌ස නැවත අභිෂේකයකට යයි.

මිහිඳු හිමි ප්‍රධාන පිරිස ලංකාවට වැඩියේ අතිශයින් රහස්‌ වූ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකට බව මට නම් පැහැදිලිය. මා මෙහි රහස්‌ යන වචනය භාවිතා කිරීමට එකග නොවූවද මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීරයන් පවසන්නේ ද මිහිඳු හිමි මෙහි වැඩියේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකට බවයි. මවිසින් තෙලපවසුවෙන් එතුමාගෙන් ඒ ගැන විමසූ විට පවසන ලද්දේ අරිටඨ ඇමති පුර ඔක්‌තෝම්බරයේදී දූත ගමන පිටත් වී දින 12 කින් එනම් නොවැම්බර් 1 වැනිදා පමණ පාටලීපුත්‍රයට පැමිණ රජමාළිගයේ නැවතී සිටි බවත්, අශෝකාරාමය මාළිගයට නුදුරින් ඉදි කර තිබූ බවත්, ඒ නිසා නිතර එහි ගොස්‌ මිහිඳු හිමි මුණගැසී සාකච්ඡා කරමින් මාස 7 ක්‌ ගත කළ බවත්, අප්‍රියෙල් 1 වැනිදා මේ දෙපිරිස ම දක්‌ණ ගිරියෙන් නික්‌මුණු බවත්, අරිටඨ තමා ආ මගින් ම නැවත ලංකාවට ආ නමුත් මිහිඳු හිමි උදේනි හරහා වේදිස නුවරට ගිය බවත් ය. බක්‌ මස 15 වැනිදා දේවානම්පියතිස්‌ස දෙවන වරට මෞර්ය ක්‍රමයට අභිෂේකය ලැබූ බවත්, අනතුරුව පොසොන් මාසයේ සිවුරඟ සේනාව පිරිවරාගෙන අනුරපුරයෙන් උතුරට ඇති තැනකට ගිය බවත්, මිහිඳු හිමි එහිදී 'තිස්‌ස්‌ යෑයි කතා කළ විට 'අයියානෝ ඛෝ ආගතා' (ආර්යයන් වහන්සේලා ඇවිල්ලා නේද) කියා විපරම් කළ බව සමන්තපාසාදිකාවේ විනය අටුවාවේ ඇති බවත් එතුමාණෝ පැවසූහ. 

මේ වන විට මහලු දේවානම්පියතිස්‌ස මිය ගොස්‌ ඇති බව නිසැකය. පොසොන් මාසයේ සිවුරඟ සේනාව පිරිවරාගෙන අනුරපුරයෙන් උතුරට ඇති තැනකට ගිය මේ තිස්‌ස උත්තිය රජු විය යුතුයි. (මගේ අභිමානී හෙළන්කා) ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක්‌ යන ග්‍රන්ථයෙන් ද මා පෙන්වා ඇත්තේ යක්‌ෂ ජන කොට්‌ඨාශයට අයත් අපේ රජවරුන්ට තුන් ඉසක්‌ ඇති තැනැත්තා යන විරුදාවලියෙන් තිස්‌ස කියා භාවිතා කළා විය හැකි බවයි. මේ තුන් ඉස්‌ නම් යකඩ තාක්‌ෂණය, කෘෂි හා වැව් තාක්‌ෂණය සහ යුද්ධ තාක්‌ෂණයයි. ්‍රපිටුව 5)

ඇයි එසේ විශාල ධනයක්‌ යෑව්වේ? බල තණ්‌හාවෙන් වියරු වැටුණු අශෝක තම පියාගේ මරණින් පසු දිගට හරහට තම සහෝදරයන් සියලු දෙනා මරමින් මහා රාජ්‍යයක්‌ ගොඩ නගන්නට තැත් කළේය. එහෙත් අපේ රජවරුන් මෙන් කලින් යුද සුදානමක්‌ නොවිණි. කාලිංග යුද්ධයෙන් පසු ඔහු හොඳටම හෙම්බත් විය. දකුණු ඉන්දීය රාජ්‍යවලට අතවත් තැබීමට ඔහු සුදානම් නොවීය. කාලිංගයේ ජනතාවගේ දුක පෙනී එරට නැවත් ගොඩනැඟීමේ අරමුණින් අපේ රජු මේ තරම් ධන පරිත්‍යාගයක්‌ කරනුයේ. 

ඉන්දියානු ගමනට යන්නේ දින 13 ක්‌ නම්, මාස 7 ක්‌ තිස්‌සේ අරිටඨ ඇමැති සහ අනිකුත් තිදෙනා මගධයේ කුමක්‌ කරන්නට ඇත්ද? මට නම් සිතෙන්නේ අපේ දේවානම්පියතිස්‌ස රජු යෑවූ විදේශාධාර නියමාකාරයෙන් පරිභෝජනය කරන්නේදැයි අධීක්‌ෂණය කරන්නට ඇත. ඇයි ගණකයෙක්‌ ගියේ? විගණනය කිරීමට නොවේද?

අපේ රටේ කොටි යුද්ධය තිබෙන දවස්‌වල ඉන්දියාව ගුවනින් පරිප්පු දැමූ වේලේ අප හෙල්ලී ගියේ යම් සේ ද අශෝකත් එදා එසේම හෙල්ලුම් කා ගියේය. ඒ හැරත් අපේ දුතයෝ මේ ධනය සුදුසු අයුරින් බෙදෙන්නේ දැයි විමසමින් ද සිටියහ. බලවත් රජෙක්‌ සමඟ හැප්පෙනවාට වඩා සම්‍යක්‌ ප්‍රයෝගයකින් කටයුතු කළ යුතු බව අශෝක තේරුම් ගත්තේය.

අශෝක රජු තම කකුධ භාණ්‌ඩ එවමින් දෙවැනි අභිෂේකයකට යන්න යයි අපේ රජුට ආරාධනා කරයි. කකුධ භාණ්‌ඩවලින් තහවුරු වන වැදගත් දෙයක්‌ ද ඇත. තිස්‌ස රජු මේ දෙවැනි අභික්‌ෂේකයෙන් රජ වන්නේ ඉන්දියාවේ බවයි. විශේෂයෙන් අප මතක තබාගත යුතු වැදගත් දෙයක්‌ ඇත. කිසි දවසක වෙනත් රටක කකුධ භාණ්‌ඩවලින් තවත් රටක අභිෂේක ලැබිය නොහැක. මෙයට හොඳම නිදසුනක්‌ ඉන්දියාවෙන් ම අපට හමුවේ.

ක්‍රි.ව.924-935 දක්‌වා ලංකාවේ රජ කළ හතර වන දප්පුල රජුගේ කාලයේදී චෝළ රාජ්‍යයේ 1 වන පරන්තක රජු පඬි රට ආක්‍රමණය කරන ලදී. එවිට තම කකුධ භාණ්‌ඩත් රැගෙන පඬි රජු අප රටට උදව් පතා ආවේය. ඒ අවස්‌ථාවේ අපේ රටේ තිබූ වාතාවරණය යටතේ උදව් ලබා ගත නොහැකි වූ නිසා පඬි රජු කකුධ භාණ්‌ඩ අප රජු වෙත පරිස්‌සමට තබා කේරළයට ගියේය. ඒ, ඒ රජුගේ මව කේරළයේ සිටි නිසා බව පැවසේ. එහෙත් චෝළ රජ පාණ්‌ඩ්‍ය දේශයේ රජ නොවුණි. ඔහු අවුරුදු 13 ක්‌ පමණ ඉවසිල්ලේ බලා සිටියේය. දප්පුල රජුගේ ඇවෑමෙන් තව රජවරු දෙදෙනක්‌ බලයට පත් වූහ. ඉන් අනතුරු ව දුර්වල පාලකයකු වූ හතර වන උදය, රජ විය. මේ අවස්‌ථාවේදී චෝළ රජ පඬි රටේ කකුධ භාණ්‌ඩ ඉල්ලා පණිවිඩ එවීය. එහෙත් අපේ රජු ඒවා නුදුන්නෙන් අප රට ආක්‍රමණය කොට ඒවා රැගෙන ගියේය. 

මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද? චෝළ රජුටත් තමන්ගේ ම කකුධ භාණ්‌ඩ තිබෙනවා නොවේද?. එහෙත් ඒවායින් වුවද තමන් විසින් පරාජය කරන ලද රටකවත් රජවිය නොහැක. අරාජික රටක වුවද රජ වීමට එම රටේ ම කකුධ භාණ්‌ඩ තිබිය යුතුය. 

අශෝක රජු අරිට්‌ඨට සේනාධිපති තනතුර දුන්නේ ද තමන් ලංකාවේ රජුට යටත් බව ඇඟවීමටයි. රටකින් තව රටකට පස්‌ සහ වතුර යවන්නේ පරාජය සංකේතවත් කිරීමටය.

පස්‌ සහ වතුර ගැන ඉතිහාසයේ ඇති සිද්ධි දෙකක්‌ ඉදිරිපත් කරමි. 

ක්‍රි.පූ. 522 දී පර්ෂියාවේ සිටි මහා ඩේරියස්‌ රජු ඊජිප්තුව අල්ලා ගත් පසු ගී්‍රසිය අල්ලා ගැනීමට යුධ වැදුණි. යුද්ධයෙන් පීඩාවට පත් වී සිටි ඇතන්ස්‌ පාලක පෙරික්‌ලීස්‌ රජුට දූතයන් (ambassadors) අත මහා ඩේරියස්‌ රජු දන්වා යෑව්වේ, යුද්ධය නැවැත්වීමට නම්, පරාජයේ සංකේතය ලෙසට ගී්‍රසියේ වතුර සහ පස්‌ තමා වෙතට එවන මෙන් ය. ජාතික අභිමානයෙන් අභීත ව නැගී සිටි ගී්‍රකයෝ ඒ දූතයන් ව අල්ලා ළිඳකට දැමූ බව කියෑවේ. 

එසේ ම සංගම් සාහිත්‍යයේ ද එන පලවන රාජේන්ද්‍ර (1012/14 - 1044) නමැති ප්‍රබල චෝළ රජ උතුරු ඉන්දියාව පවා ආක්‍රමණය කළ එකම දකුණු ඉන්දීය රජුයි. ඔහු හිමාලයේ ව්‍යාඝ්‍ර රූපය පවා කෙටවූ බව කියෑවේ. මේ රජ උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ බව සංකේතවත් කිරීමට ඔහුගේ සෙනෙවියකු ගංගා නම් ගඟේ ජලය රැගෙන විත් දකුණු ඉන්දියාවේ වැවකට දැමූ බව කියෑවේ. ඒ නිසා 1 වැනි රාෙ-න්ද්‍ර රජුට ගංගෙයි කොණ්‌ඩෙයි යන විරුදාවලිය ලැබුවේය. මේ රජුට මණ්‌ඩලම් 9 ක්‌ තිබුණි. පස්‌වැනි මිහිඳු රජුගේ පරාජයත් සමග අපේ රටත් එයින් එකක්‌ වී මුම්මඩි චෝළ මණ්‌ඩලම් නම් වූයේය.

ඉතින් පස්‌ හා වතුර පරාජයේ සංකේතයක්‌ නම් අපේ දේවානම්පියතිස්‌ස රජුගේ දූතයා (ambassador) අත රජකු විසින් රැකිය යුතු කන්‍යාවකද එවීමෙන් රටේ ආරක්‌ෂාවත්, රාජ්‍යයත් යන දෙකම භාර දුන් බව ඇඟවේ. එසේ ම මේ අවස්‌ථාව වන විට තිස්‌ස රජු වයස්‌ගත වීමට අමතරව මාරාන්තික රෝගයකින් නිශ්චිතවම පෙළුණු නිසා ඉන්දියාවට ගොස්‌ කිරුළ පළඳින්නට අපහසු බැවින් ඉන්දියන් පොළොව නියෝජනය කරමින් පස්‌ සහ වතුර අරිට්‌ඨ ඇමති අත ම අශෝක රජු එවන ලදී.

කෙනකු මහලු වූ පමණින් මැරේ යයි කිසිවකුට ස්‌ථිරවම කිව නොහැක. විශේෂයෙන්ම අවුරුදු 107 ක්‌ ආයු වැළදූ පණ්‌ඩුකාභයගේ මුනුබුරා එසේ මියයාවි යයි සිතිය නොහැක. එහෙත් මිහිඳු හිමි අපේ රජු මැරෙන තුරු වේදිස පුරයට වී බලා සිටි බව කියවේ. ඒ මාරාන්තික රෝගයකින් රජු පෙලෙන බව දන්නා නිසාම බලා සිටි බව අපට නිගමනය කළ හැක. කුමක්‌ද ඒ රෝගය? හෘදයාබාධය වැනි රෝගයක්‌ නම් නොවේ. බොහෝ විට එය අක්‌මාවේ පිළිකාවක්‌ විය යුතුයි. අදටත් බටහිර වෛද්‍යවරුන්ට අනුව මේ රෝගීන්ට වැඩිම වුණොත් මාස 7 ක ජීව අපේක්‌ෂා කාලයක්‌ දෙනු ලැබේ. මෙවැනි රෝගීන්ට ප්‍රොaටීන ආහාර අගුණය. ඒ නිසාම මොවුන්ගේ ශක්‌තිය අඩුය. ඒ නිසයි දේවානම්පියතිස්‌ස රජු මගධයේ සංකේතාත්මකව රජවීමටවත් එරටට නොගියේ. මේ කාලයේ රාජ්‍යයේ වැඩ බැලුවේ උත්තිය කුමරුය. ඒ නිසයි එතුමාගේ මුල් සෙල්ලිපිවල තමන් ගමනිඋති කියා හැඳින් වූයේ. දේවානම්පියතිස්‌ස රජුගේ අභාවයෙන් පසු සෙල්ලිපිවල එතුමාව හැඳින් වූයේ මහරක්‌ධ උති කියාය.

අවුරුදු දෙදහස්‌ ගණන් තිස්‌සේ අපව අන්දපු ගොබෙල්ස්‌ න්‍යාය පළමු වරට අභිමානි හෙළන්කා 2007 තුළින් මම හෙළි කෙරුවෙමි. ඉතිහාසඥයනි, බලන් කඩතුරා ඇර දෑසේ·

මිහිඳු හිමි මෙහි වැඩියේ අපේ දේවානම්පියතිස්‌ස රජු මගධයේ සංකේතාත්මකව රජ වී සිට මියගිය පසු උත්තිය රජ දවස අතිශයින් රහස්‌ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවකටද?


උපුටාගැනීම දිවයින
තිලකා රන්දෙනි. 

No comments

Powered by Blogger.